Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


ඉරාන යුද්ධයෙන් ඇමරිකාවට නියත පරාජයක්


2026-03-02 14898

 

ඇමරිකාවේ සහ ඊශ්‍රායලයයේ ආක්‍රමණයට ඉරානයේ ප්‍රතිප්‍රහාර සැලසුම දිහා බැලුවම මේ යුද්ධය දීර්ඝකාලීන කලාපීය යුද්ධයක් දක්වා ඇදෙන බව පේනවා.සටනේ පළවෙනි මොහොතේම ඉරානයට තමන්ගේ අධ්‍යාත්මික නායකයා ඇතුළු දේශපාලන සහ මිල්ටරි නායකයන් ගණනාවක් අහිමිවුනා.ඒක ඉරාන නායකයන්ගෙන් සහ ඉරාන බුද්ධි සේවාවලින් සිද්ධවුන බරපතල වැරැද්දක්.

ඇත්තටම ඒ වැරද්දට සමාවක් නෑ.වැරද්දට ගෙවන්න ඕනි ලොකුම වන්දිය ඉරානය දැන් ගෙවලා ඉවරයි.මෙතනදී ඇමරිකාවත් එක්ක කරපු සාකච්ඡාවලදී ඉරානය සම්පුර්ණයෙන්ම රැවටීමකට ලක්වුන බව පේනවා.ඉරානය ගොඩක් වෙලාවට විශ්වාස කළේ ට්‍රම්ප් හදන්නේ පහර දෙන්න නෙවෙයි යුධ පීඩනය වැඩි කරලා ඉරානය එක්ක ඩීල් එකකට එන්න කියලයි.ඇත්තටම ඇමරිකාවේ උවමනාවත් ඒක වෙන්න ඇති.හැබැයි මෙතන තව පාර්ශවයක් ඉන්න බව ඉරානයට කොහොමවත්ම අමතක කරන්න බෑ.

ඒ තමයි ඊශ්‍රායලය.ඊශ්‍රායලය මෝසාඩ් එක ඉරානය ඇතුලේ ඉන්නවා.ඒ වගේම ඊශ්‍රායලය දිගින් දිගටම ඉරාන දේශපාලන නායකයන්,මිලිටරි නායකයන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය කළා.ඒ පැත්තේ ප්‍රවේශම ගැන කිසිම බුරුලක් දෙන්න ඉරානයට බෑ.හැබැයි ඉරානය ඒ ඓයිතිහාසික වැරද්ද කළා.ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉරානය නොමඟ යවමින් යුද්ධය ආරම්භයේදීම දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගෙන තියනවා.පලවෙනි ප්‍රහාරයෙන් ඉරානයේ හිස ගලවලා දාන්න ඇමරිකාවට සහ ඊශ්‍රායලයට පුළුවන් වුනා.

ඉරානය නායක අයතෙල්ලා අලි කමේනිගේ වයස අවුරුදු 86ක්. කමේනි ඉරානයේ පාලන කටයුතුවලට ලොකුවට සම්බන්ධ වුනේ නෑ.කමේනිගේ නායකත්වයට යටතේ තියන උත්තරීතර මණ්ඩලයකින් සහ ඉරාන ආණ්ඩුවෙන් තමයි සියල්ල සිද්ධවුනේ. ඇත්තටම කමේනි කියන්නේ ඉරානයේ සිම්බල් එක.ඉරානයට පලෙවෙනි මොහොතේ සිම්බල් එක අහිමි කරගෙන සටනට එන්න වෙලා තියනවා.ඒ වගේම ජේෂ්ඨ මිල්ටරි නායකයන් කීපදෙනෙක්මත් කමෙනි එක්ක ඝාතනය වුනා.

කොහොම උනත් ඉරාන රෙජිම තවමත් ශක්තිමත් බව පේන්නේ ප්‍රහාරය එල්ල වෙලා විනාඩි 40 ක් වගේ කාලයක් ඇතුලත එයාලට ප්‍රති ප්‍රහාරය එල්ල කරන්න පුළුවන්වීමෙන්.පළමු ප්‍රහාරය එල්ලවෙලා දිගටම එල්ල වෙන අඛණ්ඩ ප්‍රහාරය මැද්දේ යුධමය වශයෙන් සහ පරිපාලනමය වශයෙන් වේගයෙන් ප්‍රතිසංවිධානය වෙන්න ඉරානයට පුළුවන්වෙලා තියනවා.මේ වෙනකොට කමෙනිගේ අනුප්‍රාප්තිකයා නම් කරන්න එයාලා ලෑස්තියි.

ඒ කියන්නේ ඉරානයත් ඕනිම තත්වයක් යටතේ යුද්ධයට සුදානමෙන් හිටලා තියනවා.ඇත්තටම මේ යුද්ධය මොකක් වෙයිද?ඇමරිකාව කියන විදිහට එයාලට සතියකින් ඉරානය අඩපන කරන්න පුළුවන්.රටේ රාළ හිතන්නේ ඇමරිකාවට ජයග්‍රහණයක් තියනවා නං තියෙන්නේ ඉක්මනින් ඉරාන රෙජීමය වට්ටන එක ඇතුලේ විතරයි.ඒක කරන්න නං එක්කෝ ඉරාන විප්ලවීය හමුදාව පරාජය කරන්න ඕනි.එහෙමත් නැත්තං එයාලා එකක් ඩීල් එකකට එන්න ඕනි.

නැත්තං ඉරාන විප්ලවීය හමුදාව ඇතුලේ බෙදීමක් හදලා ඒක දුර්වල කරලා ඇතුලෙන් වට්ටන්න ඕනි.දැනට පේන විදිහට ඉරානය ඇතූලේ ඇමරිකානු සහ ඊශ්‍රායලය බුද්ධී අංශ උපරිම වශයෙන් ක්‍රියාත්මකයි.ඒ වගේම ඉරාන පාලනයට විරුද්ධව ජනතාව පාරට ගන්නත් එයාලට පුළුවන්.මේ වෙනකොට ඉරානයේ ජනතාව පැහැදිලිව දෙකට බෙදිලා ඉන්නේ.ආණ්ඩුව වට්ටන්න ජනතාව පාරට එනවා වගේම ආණ්ඩුව ආරක්ෂා කරන්නත් ජනතාව පාරට ගන්න ආණ්ඩුවට පුළුවන්.

විශේෂයෙන්ම කමෙනිගේ ඝාතනය හරහා ඉරාන ආණ්ඩුවට පක්ෂපාතී විශාල පිරිසක් විදි බැහැලා ඉන්නවා.ඉරානය මේ වෙනකොට මැදපෙරදිග රටවල තියන ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරලා පහර දෙනවා.ඒ වගේම ඊශ්‍රායලය ඉලක්ක කරලත් පහර දෙනවා.දැන් අරාබි මුහුදේ ගමන් කරන නැවි වලටත් පහර දෙන්න පටන් අරන්.මේ ප්‍රහාරය හරහා ඉරානය සමස්ථ මැදපෙරදිග කලාපයම යුද්ධයකට කැදවගෙන තියනවා. මැදපෙරදිග කලාපයේම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම බිද වැටිලා තියනවා.

ඒ වගේම සමස්ථ මැදපෙරදිග කාලාපයේ ආර්ථික ක්‍රියාවලිය බිඳවැටිලා.ඇත්තටම මේ තත්වය ඉරානයට වාසි සහගතයි. මොකද මේ රටවල ඇමරිකන් කඳවුරුත් අනාරක්ෂිත නම් සාමාන්‍ය ජනතාව කොහොමවත්ම ආරක්ෂිත නැති බව ඕනි කෙනෙකුට තේරෙනවා.ඒ නිසා ඉරානයට පහරදීම නතර කරන්න කියන ඉල්ලීම ඒ ජනතාව අතරින් මතුවෙමින් තියනවා.ඇමරිකන් විරෝධය සමහර තැන්වල පුපුරා යමින් තියනවා.ඉරාකයේ ඇමරිකන් කාර්යාලවලට ජනතාව පහර දීලා තියනවා.

තවමත් ඉරානයට පක්ෂපාති ප්‍රොක්සි කණ්ඩායම් ප්‍රහාරය පටන් ගත්තේ නෑ.විශේෂයෙන්ම හූති සටන්කාමින්,හිස්බුල්ලා සංවිධානය සහ ඉරාක සටන්කාමී සංවිධානවලින් ප්‍රහාර පටන් ගන්න පුළුවන්.රතු මුහුදේ දැනටමත් යුධ අවධානම වර්ධනය වෙනවා.ඒ වගේම ලෝකය තුලත් ඇමරිකානුවන් තර්ජනයකට ලක් වෙන්න පටන් අරන්.මේක මුස්ලිම්වරුන්ට එරෙහි විවෘත යුද්ධයක් විදිහට මුස්ලිම්වරුන් බාරගන්න පුළුවන්.පකිස්ථානය ඇතුලේ දැනටමත් ඒ තත්වය නිර්මාණය වෙලා.යුරෝපයේ ඇතැම් තැන්වල ඇමරිකන් විරෝධී පෙලපාලි ගියා.

ඉරානය දිගටම මැදපෙරදිග කලාපයේ ඇමරිකන් කඳවුරු සහ ඇමරිකාවට පහසුකම් සපයන තැන් ඉලක්ක කරන්න පුළුවන්. ඊශ්‍රායලය ප්‍රහාරයත් මේ වෙනතුරු ඉරානය අඛණ්‌ඩව පවත්වාගෙන යනවා.මේ වෙනකොට ටෙල් අවිව් දක්වා ඉරාන මිසයිල ලගා වෙලා තියනවා.ඉරාන ප්‍රහාරවලින් ඇමරිකන් හමුදාවේ මරණ වාර්තාවෙන්න පටන් අරන්.මේ යුද්ධය දිහා බලද්දි ඉරානය විසින් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට පහර දෙනවා කියපු අවි තවම එලියට අරන් නෑ.මරනයට පෙර කමෙනි ඉරානයට න්‍යෂ්ටික අවි අවශ්‍ය බව කිව්වා.ඉරානයේ බලගැන්වූ යුරේනියම් කිලෝ හාරසීයකට වැඩි ගණනක් තියනවා.සමහරවිට එයාලා යුද්ධය ඇතුලෙම ප්‍රාථමික න්‍යෂ්ටික බෝම්බයක් හදන්න පුළුවන්.දැනට පාවිචිචි කරන්නේ ඉරානයේ තියන පැරණි ආයුධ. ඇත්තටම ඉරානයට මීට වඩා දියුණු ඩ්‍රෝන සහ මිසයිල තියන බව රහසක් නෙවෙයි.

ඊළඟට ඉරානය හෝමෝර්ස් සමුද්‍ර සන්ධිය කොහොමද උපායමාර්ගිකව යුද්ධයට යොදා ගන්නේ කියලා තවමත් පැහැදිලි නෑ.ඉරානය මැදිහත්වෙලා හෝමෝස් සමුද්‍ර සන්ධිය වහලා නැති උනත් නිල නොවන විදිහට ඒක වැහිලා.අරාබි මුහුද ඇතුලේ නැව් සිය ගාණක් එලියට එන්න බැරිව හිරවෙලා තියනවා.ඒක නිසා ජාත්‍යන්තර වෙළදාවම සහ ඉන්ධන කර්මාන්තයට ලොකු බලපෑමක් දැනටමත් එල්ලවෙලා තියනවා.

තෙල් මිල මේ වෙනකොටත් ඉහල ගිහින්.ඒ වගේම තෙල් හිඟයක් ගැන බියක් ලෝකය පුරා පැතිරෙමින් යනවා.අපේ රටේත් මේ වෙනකොට තෙල් පෝලිම් නිර්මාණය වෙලා තියනවා.

ලෝක ආර්ථිකයේ වෙන මේ පාඩුව නිසා ලෝක ජනමතය ඇතුලේ මේ යුද්ධය නතර කිරීමේ අවශ්‍යතාවය සහ ඉරානයට පහරදීම එරෙහි මතවාදයක් නිර්මාණය වෙමින් තියනවා.ඒ වාසියත් ඉරානයට ගන්න පුළුවන්.ඒ වගේම යුද්ධ තවදුරටත් ඇදෙනවා නම් චීනයට සහ රුසියාවට මීට වඩා මැදිහත්වීමක් කරන්න සිද්ධ වෙනවා.විශේෂයෙන්ම කමෙනිගේ ඝාතනය බරපතල විදිහට ජාත්‍යන්තර නීතිය සහ යුධ සදාචාර උල්ලංඝනය කිරීමක්.මේ තත්වයන් ඉරානයට වාසි දායක පැත්තට හරවගන්න නං ඉරානයට මේ යුද්ධය තවදුරටත් අල්ලගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි.ඉරානයේ උපක්‍රම ඒක බව ඉතාමත්ම පැහැදිලියි.

යම් විදිහකින් සති දෙක තුනක් රෙජිම් එක ආරක්ෂා කරගෙන යුද්ධය අල්ලගෙන ඉන්න පුළුවන් නම් ඇමරිකාවට ඉරාකයේදී අත්කරගත්ත පරාජයට සමාන පරාජයක් ඉරානයේදී අත්වෙන එක නවත්තන්න බෑ.මෙතනින් එහාට ඇමරිකාව,ඇමරිකානු වත්කම් සහ ඇමරිකානු පුරවැසියන් ලෝකය තුල අනාරක්ෂිතයි. ඇමරිකාවට ඉරානය තුල මොනවා කලත් ලෝකය ඇතුලේ ඇමරිකානු යුධ බලය දැනටමත් දැවැන්ත පරාජය ලබලා ඉවරයි.

 

- රටේ රාළ -
Advertiesment